Thursday, July 22, 2010

සර්වමිත්‍ර

සර්වමිත්‍ර මේ ලඟදි බණක් අහන්න ගියා. ඒක අහපු වෙලාවෙ ඉඳන්
සර්වමිත්‍ර දැඩි ලෙස සිතිවිලි අතරට වැදුනා. දේශකයන් වහන්සේ
ලස්සන බණක් කියලා තියෙන්නෙ.
එක්තරා මහලු බමුණෙක් හිටියා. මේ මහලු බමුණාට භාර්යාවො
තුන් දෙනෙක් හිටියලු. දවසක් මේ මහලු බමුණා මරණාසන්න වෙලා
පණ අදින ගමන් පළමුවෙනි භාර්යාවට කථාකලාලු..
" හාමිනේ...මම දැන් මැරෙන්න ලඟයි..ඒත් මට ඒ ගමන තනියම
යන්න බයයි...මම ජීවිත කාලයම කැප කලේ ඔයා වෙනුවෙන්..
මාත් එක්ක යන්න එනවද?" කියලා පළමු භාර්යාවට කිව්වලු.
එතකොට ඒ පළමු භාර්යාව ගත් කටටම කිව්වලු
" අනේ මම නං එක අඩියක් වත් හෙල්ලෙන්නෙ නැහැ." කියලා..
"මොනවා කරන්නද??" කියලා වික්ෂෝප වෙච්ච බමුණා දෙවෙනි
භාර්යාවටත් කථාකලාලු
" හාමිනේ...මම දැන් මැරෙන්න ලඟයි..ඒත් මට ඒ ගමන තනියම
යන්න බයයි...මම ජීවිත කාලයම කැප කලේ ඔයා වෙනුවෙන්..
මාත් එක්ක යන්න එනවද?"
එතකොට දෙවෙනි භාර්යාව ටිකක් අදිමදි කරලා කිව්වලු...
"ඕනෙනං...මම වල ලඟට විතරක් එන්නං" කියලා..
බමුණා දුකට පත්වෙලා කල්පනා කලාලු ජීවිත කාලයක් කැප
වෙලා රැකබලාගෙන සලකගෙන හිටිය මේ භාර්යාවො දෙන්නා
මොන තරම් ගුණමකුද කියලා. ඒ ගැන දුකෙන් වික්ෂෝප වෙමින්
බමුණා තුන්වෙනි බිරිඳටත් කථාකරලා මෙහෙම කියනවා.
"හාමිනේ...මම අනිත් දෙන්නා ගැන වගේ ඔයා ගැන නම් ඇහුවෙ
බැලුවෙ නැහැ..ඒ දෙන්නට වගේ ඔයාට සලකන්නත් බැරි උනා..
අනේ ඒත් මට සමාවෙලා මේ ගමන මාත් එක්ක යන්න එනවද??"
කියලා. තුන්වෙනි බිරිඳ කිසිම පැකිලීමක් නැතිව බමුණා දිහා කෙලින්
බලලා මෙහෙම කියනවා.
"ඔව්...ඔහේ යන ඕනෙම තැනක මමත් එනවා" කියලා..බමුනාට පුදුමයි.
ඉතින් මේ බණ අහලා සර්වමිත්‍ර ආපහු එනගමන් කල්පනා කරනවා
මේ අපූරු භාර්යාවො තුන්දෙනා ගැන දේශකයන් වහන්සේ පස්සෙ
කියාපු දේවල් ගැන..
"පළවෙනි භාර්යාව කියන්නේ අපි ජීවිත කාලයක් හරිහම්බ කරගත්තු
දේපල ඉඩකඩම් යාන වාහන මිල මුදල් ආදී වස්තුවට..ඒවා අපි මළාම
එක අඩියක් වත් හෙල්ලෙන්නෙත් නැහැ..අපි එක්ක එන්නෙත් නැහැ.
දෙවෙනි බාර්යාව කියන්නෙ දෙමව්පියො සහෝදර නෑදෑ හිතමිත්‍ර ස්වාමි
පුරුෂ භාර්යා දූදරු ආදී පිරිස...ඒ අය අපේ මිනීවල ලඟට විතරයි එන්නෙ..
ආපහු හැරිල යනවා...අපි ජීවිත කාලයක් වෙහෙස මහන්සි ගත්තෙ ඔය
දෙගොල්ලො ගැන විතරයි....නමුත් තුන්වෙනි භාර්යාව කියන්නෙ අපි
ඒතරම් හිතුවෙ නැති මායිම් නොකල පින්පව් දෙකට..අන්න ඒවා නම්
අපි පස්සෙම අපි යන යන තැනට එනවා"
සර්වමිත්‍ර කල්පනා කලා මේක මොනතරම් දාර්ශණික ප්‍රකාශයක්ද??
මේ ජීවිතය මොන තරම් හිස් දෙයක්ද කියලා..මැරෙන කොට දාලා යන
දේවලට මරාගන්න අපි ‍ගෙනයන දේගැන හිතන්නෙවත් නැහැනෙ
කියලා....

2 comments: