Saturday, July 31, 2010

තිසර අරණ- සර්වමිත්තා






මේ ලඟදි සර්වමිත්‍රට යකා නැග්ගා. සර්වමිත්‍ර කියන්නෙ
ලේසියෙන් කේන්තියන කෙනෙක් නෙවෙයි. ඒත් එයාගේ
තරුණ සුරූපී භාර්යාව නිසා තමයි මේ කේන්තිය ගියේ.
හේතුව තමයි මිත්තා හෙවත් මේ භාර්යාව හදිසියේම ඈත
දුර බැහැරක වන්දනාවක යන්න සූදානම් වීම. යන්නෙත්
තනිවම නෙවෙයි. අර පත ලේලන්ඩ් බස් එකක් පුරෝලා
සෙනඟත් අරගෙන. කොහොමත් මිත්තා පන්සලේ ලොකු
හාමුදුරුවන් ගැන හිතා ඉන්නෙ උන්නාන්සේ තමයි මේ
ධර්මය නියම විධියට හරියටම කියන එකම එක්කෙනා කියලා.
අනිත් හාමුදුරුවරු සේරම ධර්මය හරියට කිව්වෙ නැහැ මේ
ලොකු හාමුදුරුවො විතරයි නියම ධර්ම මාර්ගය පෙන්වා දෙන්නෙ
කියලා.
මිත්තා හරි කැමතියි තමන් ධර්මයේ හැසිරෙනවා කියලා
අනිත් අයට පෙන්වන්න. මිත්තා උදේ නැගිට්ට වෙලේ ඉඳන්
රෑ වෙනතුරු ගොඩක් වෙලාවට කරන්නෙ පන්සලේ වැඩකටයුතු
ගැන වෙහෙස වෙන එකයි. එයා තමයි ප්‍රධාන දායිකාව. එයා තමයි
ප්‍රධාන සංවිධායිකාව. එයා තමයි ප්‍රධාන මාධ්‍ය උදේශිකාව...
ලොකු හාමුදුරුවො කොහෙද වඩින්නෙ මිත්තාත් එතැන ඉන්නෙ.
ඉතින් වන්දනා ගමන යන්නෙ රටේ ඈතම ඈත ප්‍රදේශයක
මහා වනන්තරයක් මැද මේ ලඟදි හොයාගත් සුවිසල් බුද්ධ
ප්‍රථිමාවක් වන්දනා කරන්නයි. ඒකට හේතුව තමයි ආණ්ඩුවයි
විරුද්ධ පක්ෂයි පත්තරයි ටෙලිවිෂන් මාධ්‍යයි සේරම එකතුවෙලා
මේ බුදුපිළිමෙ ශීර්ෂයෙන් බුදුරැස් විහිදෙනවා කියලා මහා
ගෝෂාවක් ඇතකර තිබීම.
දැන් එදාට රටේ හතරදිග්භාගෙන් මහා ජන ගඟක් ගලනවා
ඒ ආශ්චර්යය බලන්න. සර්වමිත්‍රට හරි කේන්තියි.
" ඔය ප්‍රතිමාව නොබැලුවට නිවන් දකින්න වෙන ක්‍රමයක් ඇත්තෙම
නැද්ද මං අහන්නෙ..."සර්වමිත්‍ර කෝපයෙන් ඇහුවා.
"අනේ මගේ කට" මිත්තා දත්මිටි කෑවා."අනුහස් තියෙන තැනක්
ගැන නේද මේ මිත්‍යා දෘෂ්ඨි කථාකියන්නෙ"
"හපොයි තමුසෙගෙ සම්මා දිට්ඨිය"
"ඇයි මොකක්ද එහෙනං ඒ හරුපෙ තෙරුම" මිත්තා රැව්වා
" බස් ලෝඩ් පිටින් මහා වනන්තරවල එක්කගෙන ගියාම ඒවයේ
එක එක ප්‍රශ්න ඇතිවෙන්න ගත්තාම එතන රාග ද්වේශ මෝහ
ඇතිවෙනවා. නිවන් දකින මාර්ගය තියෙන්නෙ තනිවම වඩන්න..
ඔතන වෙන්නෙ මානයක් දෘෂ්ඨියක් තන්හාවක් ඇතිවීම විතරයි"
"අනේ තමුසෙගෙ බණ"
"මගේ බණ නෙවෙයි මේවා බුදුබණ... දස අකුසලයෙන් වෙන්වීම
තමයි නිවන් මග...ආර්යය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කිරීම
තමයි නිවන් මග.. සතර සතිපට්ඨානය තමයි නිවන් මග.....
මේවා එකක්වත් කරන්න බස්ලෝඩ් පිටින් යන්න ඕනෙ නැහැනෙ..
රටේ එහා කෙලවරේ මහ වනන්තරවල වැදෙන්න ඕනෙත් නැහැනෙ..
මේක තනියම තමන් ඉන්න තැනම ඉඳගෙන විවේකයෙන් සීරුවෙන්
කරන්න ඕනෙ දෙයක්..."
මිත්තා දෙතොල් තදකරගෙන සර්වමිත්‍ර දිහා රවා බලාගෙන ඉන්නෙ.
සර්වමිත්‍රට හිතුනා තවත් හොඳවයින් දෙකතුනක් කථාකරන්න.
ඒත් මොකටද....මිත්තා තමන් අල්ලාගෙන තියෙන දේ මහ උජාරුවෙන්
අගය කරනවා විතරක් නෙවෙයි වෙනත් අය හරි දෙයක් කිව්වත්
ඒවා නිකම් දෘෂ්ඨි විතරයි කියන මානයෙන් ඉන්නෙ..සර්වමිත්‍ර ඉඳගෙන
සිටි තැනින් නැගිට්ටා.
" ශීල...සමාධි...ප්‍රඥා....මේකයි මාර්ගය"
"සිහිය දියුණු කිරීම තමයි ඒකායන මාර්ගය"

No comments:

Post a Comment