Saturday, July 31, 2010

තිසර අරණ- සර්වමිත්තා






මේ ලඟදි සර්වමිත්‍රට යකා නැග්ගා. සර්වමිත්‍ර කියන්නෙ
ලේසියෙන් කේන්තියන කෙනෙක් නෙවෙයි. ඒත් එයාගේ
තරුණ සුරූපී භාර්යාව නිසා තමයි මේ කේන්තිය ගියේ.
හේතුව තමයි මිත්තා හෙවත් මේ භාර්යාව හදිසියේම ඈත
දුර බැහැරක වන්දනාවක යන්න සූදානම් වීම. යන්නෙත්
තනිවම නෙවෙයි. අර පත ලේලන්ඩ් බස් එකක් පුරෝලා
සෙනඟත් අරගෙන. කොහොමත් මිත්තා පන්සලේ ලොකු
හාමුදුරුවන් ගැන හිතා ඉන්නෙ උන්නාන්සේ තමයි මේ
ධර්මය නියම විධියට හරියටම කියන එකම එක්කෙනා කියලා.
අනිත් හාමුදුරුවරු සේරම ධර්මය හරියට කිව්වෙ නැහැ මේ
ලොකු හාමුදුරුවො විතරයි නියම ධර්ම මාර්ගය පෙන්වා දෙන්නෙ
කියලා.
මිත්තා හරි කැමතියි තමන් ධර්මයේ හැසිරෙනවා කියලා
අනිත් අයට පෙන්වන්න. මිත්තා උදේ නැගිට්ට වෙලේ ඉඳන්
රෑ වෙනතුරු ගොඩක් වෙලාවට කරන්නෙ පන්සලේ වැඩකටයුතු
ගැන වෙහෙස වෙන එකයි. එයා තමයි ප්‍රධාන දායිකාව. එයා තමයි
ප්‍රධාන සංවිධායිකාව. එයා තමයි ප්‍රධාන මාධ්‍ය උදේශිකාව...
ලොකු හාමුදුරුවො කොහෙද වඩින්නෙ මිත්තාත් එතැන ඉන්නෙ.
ඉතින් වන්දනා ගමන යන්නෙ රටේ ඈතම ඈත ප්‍රදේශයක
මහා වනන්තරයක් මැද මේ ලඟදි හොයාගත් සුවිසල් බුද්ධ
ප්‍රථිමාවක් වන්දනා කරන්නයි. ඒකට හේතුව තමයි ආණ්ඩුවයි
විරුද්ධ පක්ෂයි පත්තරයි ටෙලිවිෂන් මාධ්‍යයි සේරම එකතුවෙලා
මේ බුදුපිළිමෙ ශීර්ෂයෙන් බුදුරැස් විහිදෙනවා කියලා මහා
ගෝෂාවක් ඇතකර තිබීම.
දැන් එදාට රටේ හතරදිග්භාගෙන් මහා ජන ගඟක් ගලනවා
ඒ ආශ්චර්යය බලන්න. සර්වමිත්‍රට හරි කේන්තියි.
" ඔය ප්‍රතිමාව නොබැලුවට නිවන් දකින්න වෙන ක්‍රමයක් ඇත්තෙම
නැද්ද මං අහන්නෙ..."සර්වමිත්‍ර කෝපයෙන් ඇහුවා.
"අනේ මගේ කට" මිත්තා දත්මිටි කෑවා."අනුහස් තියෙන තැනක්
ගැන නේද මේ මිත්‍යා දෘෂ්ඨි කථාකියන්නෙ"
"හපොයි තමුසෙගෙ සම්මා දිට්ඨිය"
"ඇයි මොකක්ද එහෙනං ඒ හරුපෙ තෙරුම" මිත්තා රැව්වා
" බස් ලෝඩ් පිටින් මහා වනන්තරවල එක්කගෙන ගියාම ඒවයේ
එක එක ප්‍රශ්න ඇතිවෙන්න ගත්තාම එතන රාග ද්වේශ මෝහ
ඇතිවෙනවා. නිවන් දකින මාර්ගය තියෙන්නෙ තනිවම වඩන්න..
ඔතන වෙන්නෙ මානයක් දෘෂ්ඨියක් තන්හාවක් ඇතිවීම විතරයි"
"අනේ තමුසෙගෙ බණ"
"මගේ බණ නෙවෙයි මේවා බුදුබණ... දස අකුසලයෙන් වෙන්වීම
තමයි නිවන් මග...ආර්යය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කිරීම
තමයි නිවන් මග.. සතර සතිපට්ඨානය තමයි නිවන් මග.....
මේවා එකක්වත් කරන්න බස්ලෝඩ් පිටින් යන්න ඕනෙ නැහැනෙ..
රටේ එහා කෙලවරේ මහ වනන්තරවල වැදෙන්න ඕනෙත් නැහැනෙ..
මේක තනියම තමන් ඉන්න තැනම ඉඳගෙන විවේකයෙන් සීරුවෙන්
කරන්න ඕනෙ දෙයක්..."
මිත්තා දෙතොල් තදකරගෙන සර්වමිත්‍ර දිහා රවා බලාගෙන ඉන්නෙ.
සර්වමිත්‍රට හිතුනා තවත් හොඳවයින් දෙකතුනක් කථාකරන්න.
ඒත් මොකටද....මිත්තා තමන් අල්ලාගෙන තියෙන දේ මහ උජාරුවෙන්
අගය කරනවා විතරක් නෙවෙයි වෙනත් අය හරි දෙයක් කිව්වත්
ඒවා නිකම් දෘෂ්ඨි විතරයි කියන මානයෙන් ඉන්නෙ..සර්වමිත්‍ර ඉඳගෙන
සිටි තැනින් නැගිට්ටා.
" ශීල...සමාධි...ප්‍රඥා....මේකයි මාර්ගය"
"සිහිය දියුණු කිරීම තමයි ඒකායන මාර්ගය"

Thursday, July 22, 2010

සර්වමිත්‍ර

සර්වමිත්‍ර මේ ලඟදි බණක් අහන්න ගියා. ඒක අහපු වෙලාවෙ ඉඳන්
සර්වමිත්‍ර දැඩි ලෙස සිතිවිලි අතරට වැදුනා. දේශකයන් වහන්සේ
ලස්සන බණක් කියලා තියෙන්නෙ.
එක්තරා මහලු බමුණෙක් හිටියා. මේ මහලු බමුණාට භාර්යාවො
තුන් දෙනෙක් හිටියලු. දවසක් මේ මහලු බමුණා මරණාසන්න වෙලා
පණ අදින ගමන් පළමුවෙනි භාර්යාවට කථාකලාලු..
" හාමිනේ...මම දැන් මැරෙන්න ලඟයි..ඒත් මට ඒ ගමන තනියම
යන්න බයයි...මම ජීවිත කාලයම කැප කලේ ඔයා වෙනුවෙන්..
මාත් එක්ක යන්න එනවද?" කියලා පළමු භාර්යාවට කිව්වලු.
එතකොට ඒ පළමු භාර්යාව ගත් කටටම කිව්වලු
" අනේ මම නං එක අඩියක් වත් හෙල්ලෙන්නෙ නැහැ." කියලා..
"මොනවා කරන්නද??" කියලා වික්ෂෝප වෙච්ච බමුණා දෙවෙනි
භාර්යාවටත් කථාකලාලු
" හාමිනේ...මම දැන් මැරෙන්න ලඟයි..ඒත් මට ඒ ගමන තනියම
යන්න බයයි...මම ජීවිත කාලයම කැප කලේ ඔයා වෙනුවෙන්..
මාත් එක්ක යන්න එනවද?"
එතකොට දෙවෙනි භාර්යාව ටිකක් අදිමදි කරලා කිව්වලු...
"ඕනෙනං...මම වල ලඟට විතරක් එන්නං" කියලා..
බමුණා දුකට පත්වෙලා කල්පනා කලාලු ජීවිත කාලයක් කැප
වෙලා රැකබලාගෙන සලකගෙන හිටිය මේ භාර්යාවො දෙන්නා
මොන තරම් ගුණමකුද කියලා. ඒ ගැන දුකෙන් වික්ෂෝප වෙමින්
බමුණා තුන්වෙනි බිරිඳටත් කථාකරලා මෙහෙම කියනවා.
"හාමිනේ...මම අනිත් දෙන්නා ගැන වගේ ඔයා ගැන නම් ඇහුවෙ
බැලුවෙ නැහැ..ඒ දෙන්නට වගේ ඔයාට සලකන්නත් බැරි උනා..
අනේ ඒත් මට සමාවෙලා මේ ගමන මාත් එක්ක යන්න එනවද??"
කියලා. තුන්වෙනි බිරිඳ කිසිම පැකිලීමක් නැතිව බමුණා දිහා කෙලින්
බලලා මෙහෙම කියනවා.
"ඔව්...ඔහේ යන ඕනෙම තැනක මමත් එනවා" කියලා..බමුනාට පුදුමයි.
ඉතින් මේ බණ අහලා සර්වමිත්‍ර ආපහු එනගමන් කල්පනා කරනවා
මේ අපූරු භාර්යාවො තුන්දෙනා ගැන දේශකයන් වහන්සේ පස්සෙ
කියාපු දේවල් ගැන..
"පළවෙනි භාර්යාව කියන්නේ අපි ජීවිත කාලයක් හරිහම්බ කරගත්තු
දේපල ඉඩකඩම් යාන වාහන මිල මුදල් ආදී වස්තුවට..ඒවා අපි මළාම
එක අඩියක් වත් හෙල්ලෙන්නෙත් නැහැ..අපි එක්ක එන්නෙත් නැහැ.
දෙවෙනි බාර්යාව කියන්නෙ දෙමව්පියො සහෝදර නෑදෑ හිතමිත්‍ර ස්වාමි
පුරුෂ භාර්යා දූදරු ආදී පිරිස...ඒ අය අපේ මිනීවල ලඟට විතරයි එන්නෙ..
ආපහු හැරිල යනවා...අපි ජීවිත කාලයක් වෙහෙස මහන්සි ගත්තෙ ඔය
දෙගොල්ලො ගැන විතරයි....නමුත් තුන්වෙනි භාර්යාව කියන්නෙ අපි
ඒතරම් හිතුවෙ නැති මායිම් නොකල පින්පව් දෙකට..අන්න ඒවා නම්
අපි පස්සෙම අපි යන යන තැනට එනවා"
සර්වමිත්‍ර කල්පනා කලා මේක මොනතරම් දාර්ශණික ප්‍රකාශයක්ද??
මේ ජීවිතය මොන තරම් හිස් දෙයක්ද කියලා..මැරෙන කොට දාලා යන
දේවලට මරාගන්න අපි ‍ගෙනයන දේගැන හිතන්නෙවත් නැහැනෙ
කියලා....

Wednesday, June 30, 2010

තිසර අරණ

මේක අලුතින් පටන්ගත්ත බ්ලොග් අඩවියක්. තිසර අරණ කිව්වම
මොකක්ද ඒ හරුප නමේ තේරුම කියාල ඔයගොල්ල හිතාවි. තිසර
කියන්නෙ හංසයන්ටනේ. ඒගොල්ලො කිරෙන් දිය වෙන් කරගන්න
ගොඩාක් දක්ෂයි.
මේ බ්ලොග් අඩවියේ අයිතිකාරයා මම උනාට මෙහි ප්‍රධාන චරිතය
නම් මම නෙවෙයි. එයාගෙ නම සර්වමිත්‍ර. එයා කිසිවක් සමග ගැටීමක්
නැහැ. කිසිවක් ගැන ඇලීමකුත් නැහැ. එයා ප්‍රකාශකයෙක්.
එයා ආගම් දර්ශන වගේම විවිධ මතවාද වල හරය තෝරා බේරා ගන්න
කැමති කෙනෙක්. එයා වෙලාවකට නස්රුද්දින් වගේ. වෙලාවකට
ඊසොප් වගේ. වෙලාවකට ජපන් සෙන්කථාවක් වගේ. වෙලාවකට
මැකියාවෙලී වගේ. වෙලාවකට පෙරදිග දර්ශනවාදියෙක් වගේ.
එයා ජීවිතය දකින්නෙ වෙනස් විධියකට. සමහරවිට ඔයාලට එතරම්
ගෝචර නොවන්නත් පුලුවන්. නමුත් ඇත්ත හැමවිටම එකවර
ග්‍රහනය වෙන්නෙ නැහැ. ඇත්ත පැණිරසත් නැහැ.
ටිකක් ඉවසීමෙන් ලිපි කියවා බලන්න. සර්වමිත්‍ර ඔයාලගෙත් මිත්‍රයෙක්
බවට නුදුරේදීම පෙරලේවි.
සර්වමිත්‍ර කියන හැම කතාවක්ම තිසර අර‍ණ ඔයාලට ගෙනඒවි.
කමෙන්ට් එකක් දමන්නත් අමතක කරන්න එපා.